අපි අපේ රටට ආදරෙයි - Api Ape Ratata Adarei 🇱🇰
Covid 19 උවදුර සමඟ ගෙවෙන අවසාන දින කීපය නිසා මේ සටහන ලියා තබමි.
පළවෙනි රෝගියා හමුවුනේ මාර්තු මාසෙ 11 වෙනිදා. මාර්තු 12 දෙවෙනි රෝගියා හමුවීමත් එක්කම රටේ බහුතර මිනිස්සු වෙළදසැල්වලට ඇදෙන්න ගත්තා. ඒ කොරෝනා නිසා රට Lockdown කරයි කියන පුරෝකතනය නිසා.
ඉතිං 12 වෙනිදා ඉඳන් තමයි සුපිරි වෙළදසැල්වල කොරෝනා යුද්ධය පටන්ගත්තෙ. කාර්ය මණ්ඩලයට කෑම බීම ටිකවත් වෙලාවට ගන්න බැරිවුණා, විවේකයක් කියලා එකක් ලැබුනෙ නෑ, උදේ ඉඳන් රෑ වෙනකල් හිටගෙන වැඩකරන්න වුනා. නොහිතපු වෙලාවක ආපු ඉල්ලුමට සරිලන සැපයුමක් දීලා හැමෝම අතරෙ භාණ්ඩ නොඅඩුව බෙදාහරින්න ඒ අයට වෙන කවමදාටත් වඩා වැඩකරන්න වුනා.
මාර්තු 24 හවස රජය විසින් රටටම බලපාන විදියට ඇඳිරිනීතිය දාලා අත්යාවශ්ය භාණ්ඩ ගෙවල්වලට බෙදාහරින්න කියලා නිවේදනය කරාම අපිව කරකවලා අතෑරියා වගේ වුනා. මොකද අපි කවදාවත්ම මීට කලින් මේ වගේ දේකට මුහුණදීලා නැති නිසා. කොහොම වුනත් ඉතාම කෙටි කාලෙකින් ඒ වැඩේ පටන්ගන්න අපිට පුළුවන් වුනා. මේක ආයතනය පැත්තෙන් ගත්ත ඉතාම නිර්භීත තීරණයක්.
අපිට ලැබුනෙ Curfew pass පහයි. ඒ පහෙන් අපිට Staff එක්කන් එන්න, ගෙනියන්න, Home delivery කරන්න මේ හැමදේම කලමනාකරණය කරගන්න වුනා. මේ Pass පහෙන් අපි කොච්චර ප්රයෝජන ගත්තද කියනවා නම් මගේ නමට තියෙන Pass එක පාවිච්චි කරලා මං මේ වෙනකල් දිනපතා රියැදුරෙක් විදියට කටයුතු කරා අනිත් වැඩ අතරෙ.
ඒ විදියට කිලෝමීටර් 10ක් වැනි ප්රදේශයක් ඇතුලෙ කිලෝමීටර් 1,000ක් පමණ දුර ප්රමාණයක් මේ වෙද්දි මං ධාවනය කරා. ප්රදේශයේ ලියුම් බෙදන්නා තරමටම මට දැන් ලිපිනයන් කටපාඩම්. ඒ වගේම අපේ බොහෝමයක් පාරිභෝගිකයන් මං දැන් නම් වශයෙන් හඳුනනවා. මගේ පාසැල් ගුරුවරු සහ මිතුරන්, මගේ විශ්වවිද්යාල ආචාර්යවරු සහ මිතුරන් වගේ දන්නා හඳුනන ගොඩක් අයට අපි භාණ්ඩ ප්රවාහනය කරා. ඔවුන් බොහෝදෙනාගේ ගෙදරට යනතුරු ඒ ඔවුන්ගේ ගෙදර යැයි මා දැන සිටියේ නෑ.
බොහෝ පාරිභෝගිකයන් අපිට හදවතින්ම ස්තූති කරා. ස්තූති කරලා පණිවිඩ එවලා තිබ්බා. කෑමට ආරාධනා කරා. තේකක් බීලා යන්න ඉන්න කිව්වා.
"ඔයාලගෙ Managerට තෑන්ක් කරා කියන්න"
සමහර පාරිභෝගිකයන් මටම කිව්වා. මම සිනහමුසු මුහුණින් "හා" කිව්වා.
අපේ සාමාන්ය දිනයකදි වෙන්නෙ පාරිභෝගිකයන් ඇවිල්ලා එයාලට අවශ්ය කරන භාණ්ඩ එයාලම තෝරගෙන, එයාලම Cashier ලවා බිල් කරවගෙන, එයාලගෙම වාහනේ දාගෙන ගෙදර අරන් යන එක. හැබැයි Home delivery එකකදි බඩු එකතු කිරීම, බිල් කිරීම, Delivery කිරීම ආදී සියලුම දේ වෙන්නෙ අපේ අතින්.
ඉතිං සීමිත කාර්යමණ්ඩලයක් එක්ක වැඩිම පිරිසකට සේවය සපයන්න ඕනෙ නිසා අපිට අපේ කාලය උපරිමෙන් ප්රයෝජනයට ගන්න සිදුවුනා. අපේ කණ්ඩායමේ වැඩකරපු හැම කෙනෙක්ම සාමන්ය දවසකට වඩා තුන් ගුණයක් විතර මහන්සි වුනා මේ කාලය ඇතුලෙ.
දවසකට Calls දෙතුන්සීයක් answer කරන්න පුළුවන්කම තිබුනෙ නෑ. ඒ නිසා සමහරු නොසතුටට පත්වුනා. කිසිම හේතුවකට කිසිම කෙනෙක්ව ඇතුලට ගන්න එපා කියලා රජය නිවේදනයක් නිකුත් කරලා ඒ ගැන විමසිල්ලෙන් හිටියා. ඉතිං ඒ නිසා තමුන්ව ඇතුලට ගෙන භාණ්ඩ ලබාදෙන ලෙස ඉල්ලීම් කල කාගෙනුත් අපි නොඅඩුව බැනුම් අසාගත්තේ ඇතුලට නොගැනීමේ වරදටයි. තත්වය හරිහැටි තේරුම් නොගත් ඇතැම් අය Delivery වලදී සිදුවන සුළු ප්රමාදයන් නිමිති කරගෙන අපිට දොස් පැවරූ අවස්ථා තිබුනා.
ගෙදරටවෙලා ඉන්නෙ නැතුව ජීවිතේ අවදානමක දාගෙන මේ වැඩේ කරද්දි, මෙවැනි දේ සිදුවීම හරිම වේදනාකාරී අත්දැකීමක් වුනා. නමුත් ඉවසීමෙන් අපි වැඩේ කරගෙන ගියා. ඒ නිසාම මං මේක අවස්ථාවක් කරගන්නවා මගේ කණ්ඩායමටත් අප වැනිම මේ අවස්ථාවේ රටට විශාල සේවයක් කරපු ඒ පොඩි මිනිසුන් සියලුම දෙනාට මගේ උපහාරය පුද කරන්න
මේ විදියට මිශ්ර අත්දැකීම් ගොඩක් මැදින් අපි දැන් මේ වැඩේ අවසානෙකට ඇවිත් තියෙනවා. තව ටික දවසකින් රට සාමාන්ය අතට හැරිලා මේ දේවල් හැමෝටම අමතකවෙලා යන එක සාමාන්ය දෙයක්. හැබැයි මේ ටිකේ ලබපු අත්දැකීම් ජීවිත කාලෙටම අපිටනම් අමතක වෙන්නෙ නැතිවෙයි.
නිමි.
No comments:
Post a Comment