Search Here

Most Popular Post

Friday, 11 February 2022

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula

මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා 🙏
මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදුවුන බිහිසුණු සිද්ධියක්
අහස ගිගුරුම් දෙමින් මහා වැස්සකට තතනමින් හිටියා. රැහැයි හඬත්, ඉඳහිට ඇසුන වවුලන්ගේ ඝෝෂාවත් අන්ධකාරයේ මූසලබව තවත් වැඩි කරා
නිදාගන්න ගහන තුන්වෙනි සහ අන්තිම බෙල් එකත් වැදුන නිසා සියලුම සිසුන් තම තමන්ගෙ ඇඳන්වලට ගිහිනුයි හිටියෙ
මේ අතරෙ 6 වසර ඩෝම් එකේ යම්කිසි කසුකුසුවක් එක්ක කුමන්ත්රණයක් දියත් වෙමින් තිබුනා
ඔවුන්ගෙ ගොදුර බවට පත්වෙන්න යන්නෙ පොඩි දේටත්... විශේෂයෙන්ම හොල්මන් වලට දැඩි බයක් දක්වපු අපේ යාලුවෙක්
ඒ දවස්වල ඩ්රැකියුලා දත් සෙට් ගන්න තිබුනනෙ කඩෙන්. ඔය දත් සෙට් එක දාගෙන ගිහින් අර යාලුවාව ඔලුව පැත්තෙන් තට්ටුවක් දාලා ඇහැරවලා, ඔහු ඔලුව උස්සලා බලනකොටම දත් පෙන්නලා බය කරන එක තමයි සැලසුම වෙලා තිබුනෙ
හැමෝම නින්දට ගිහින් නිසා නේවාසිකාගාරය තිබුනෙ ගැඹුරු නිහැඩියාවක. මේ අතරෙ එකපාරටම.....
ඔව් එකපාරටම අර සැලසුම ක්රියාත්මක වුනා
බුදු අම්මෝ...
මාව මරනවෝ...
බේරගනියෝ...
බයවෙච්ච යාලුවා හොස්ටල් එක දෙවනත් වෙන්න කෑගහන්න ගත්තා
Operation එක දියත් කරපු කණ්ඩායමට යන්තං තමුන්ගෙ ඇඳගාවට දුවාගන්න විතරයි හම්බුනේ. රෑ ඇහැරිලා පාඩම් කරන Miyuru Niwan Hettige අයියා ඇතුලු O/L පන්තියෙ ලොකු අයියලා ඒ සද්දෙට දුවගෙන ආවා අපේ ඩෝම් එකට
ඇවිත් දැම්මා ලයිට් ටික සේරම
එකෙක්වත් සද්දයක් නෑ දැන්. අපි හැමෝම ඇඳන් උඩ නෙට් ඇතුලෙ නිදි වගේ හිටියා
ඔය අතරෙ අපේ එකෙක්ට හදිස්සියට සෙරෙප්පු දෙක ගලවන්න අමතක වෙලා. ඌ සෙරෙප්පුත් දාගෙනම ඇඳේ නිදි
ඈ යකෝ තෝ සෙරෙප්පු දාගෙනද රෑට නිදියන්නෙ??? මෙහෙ වරෙං පරයා තෝ තමයි සේරම කරේ...
අලේ මල් ලෙවෙයි බුදු අයියෙ
වචන පිටවෙන්නෙත් නෑ. බලද්දි සෙරෙප්පු දෙක විතරක් නෙවෙයි මූට ඩ්රැකියුලා දත් සෙට් එකත් ගලවගන්න අමතක වෙලා හදිස්සියට
බඩෙන් අල්ලලා උස්සලා නැව් ගුටි වරුසාවක් ලැබුනා ඌට බඩ කට පිරෙන්නම. ඒ යාලුවා තමයි උත්පල වීදියබණ්ඩාර 😄
එතකොට අර ඩ්රැකියුලාට බයවුනේ කවුද???
ඔය දවසෙ ඉඳන් ඌ දත් වලට සෑහෙන බයෙන් හිටියෙ. කොටින්ම A/L biology කරන්න අරගත්තට, ලකුණු මදිවෙලා Dentist කෙනෙක් වෙන්න වෙයිද කියලා බයටම මිනිහා හොඳට පාඩම් කරා. අද ඔහු හොඳ වෙද්යවරයෙක්
ඌ තමයි Dr. Prasad Priyankara Gamage 😊🤷
ප:ලි: ඉහතින් Dr යනුවෙන් සඳහන් කර ඇත්තේ Doctor යන අරුත මිසක, Dracula යන්නට කෙටි යෙදුමක් ලෙස නොවේ
නිමි.


Thursday, 3 February 2022

ආසන්න අත්දැකීම් 1

ආසන්න අත්දැකීම් 1 - Asanna Athdekim 1

ලංකාවෙ උතුරත් දකුණත් දෙකම ඇවිලෙන දේශපාලන අඳුරක ඉපදුන අපි, අදටත් ඒ අඳුරෙම ජීවත්වෙන පරපුරක්
ඒ අඳුර මැදින් මරණය පෙනි පෙනී නොපෙනී ගිය අවස්ථා කීපයක් ගැන මට මතක් වෙනවා. එකක් ගැන දැන් ලියනවා
අපි Baseball club tournament එක සෙල්ලම් කරන්න පේරාදෙණිය සරසවියට යනවා. ආනන්දෙයි නාලන්දෙයි Playersලගෙ එකතුවකින් හදාගත්ත Maroons කියන Club එකට තමයි මම ක්රීඩා කරේ
අපි රෑ නැවතිලා හිටපු හෝල් එකේ අපිට එහාපැත්තෙ කාමරේ හිටියෙ DS Senanayake විද්යාලයේ Team එක. මගේ මතකය නිවැරැදි නම් ඔවුන් ක්රීඩා කරේ DS Knights කියන Club එකට. හැමෝම වගේ අපි දන්න අඳුරන යාලුවො
දිනය 2008 පෙබරවාරි 03. අපි තරඟ ජයග්රහණය කරපු නිසා අපිට එදා හවසත් Match එකක් වැටිලා තිබුනා. හැබැයි DS Knights තරඟයක් පරාජය වුන නිසා කල් ඇතුව තරඟාවලියෙන් ඉවත් වුනා. ඒ නිසා ඔවුන් වේලාසනින් කොළඹට පිටත්වෙන්න තීරණය කරා
පේරාදෙණිය සරසවියේ ප්රධාන ක්රීඩාංගනයට යාබදව තියෙන රගර් Ground එකේ එහාපැත්තෙ කොනක අපි Match එකක් ඉවර වෙලා Rest කරමින් හිටියා. Black T-shirts ඇඳගෙන ක්රීඩා බඩු Bags, Travelling bags උස්සගෙන මලින්ද අයියා (DS පුහුණුකරු) ඇතුලු DS කණ්ඩායම සරසවි උයන දුම්රියපලට පයින් යන ගමන් අවසානෙට කතා කරේ අපිට. ඔවුන් අපේ ඉදිරි තරඟයට සුභ පතලා යන්න ගියා
අපි දිවා ආහාරය ගත්තෙ කැම්පස් එකේ කැන්ටිමෙන්. එතන TV එකෙන් අපි දැනගත්තා කොටුව දුම්රියපොළේ බෝම්බයක් පුපුරලා කියලා. මගේ මිත්රයා Miyuru Jayasuriya එවෙලෙම ගත්තා මලින්ද අයියට Call එකක්. Phone එක Answer කරා හැබැයි මලින්ද අයියා නෙවෙයි. පොලීසියෙන් Answer කරලා ඔහු ජීවතුන් අතර නැති බව කිව්වා. විස්තර දැනගන්න නැවත කතාකරත් Phone එක ක්රියා විරහිත වී තිබුනා
ඔවුන් සියලුදෙනා සමුගෙන ඇතිබව සවස් වනවිට දැනගන්න ලැබුනා. තරඟයක් පරාජය වූවා නම් අපද කොළඹ යාමට නියමිතව තිබුනේ ඔවුන් සමඟයි
අදට මේ සිදුවීමට හරියටම අවුරුදු 14ක්. මේ මතකය මම මීට කලින් අවදි කරලා නෑ. ආපහු කවදාකවත් මතක් කරන්න බලාපොරොත්තුවක් නෑ. එය එතරම්ම වේදනාකාරී අත්දැකීමක්



Saturday, 8 January 2022

ගනේගම ටීචර්

ගනේගම ටීචර් - Ganegama Teacher

පොත් ටිකයි හෑන්ඩ් බෑග් එකයි අරන් ගනේගම ටීචර් පන්තියට ආවා. 7 වසරෙ හිටපු අපි "ආයුබෝවන් ටීචර්" කියලා සද්දෙට කියලා වාඩිවුනා
"ඔයාලා දන්නෙ නෑනෙ... ඊයෙ මලලසේකර හෝල් එකේ නාට්යක් පෙන්නුවනෙ. පොඩි ලමයි ටිකක් රඟපෑවා හරිම ලස්සනයි. අපරාදෙ ඔයාලටත් බලන්න එන්න තිබුනෙ
එක ළමයෙක් ප්රවෘත්ති කියන චරිතයක් එහෙම කරා හරිම ලස්සනට"
ටීචර් කියාගෙන යනවා විස්තරයක්
දැන් ඔය නාට්යයේ මමත් රඟපෑවා. ප්රවෘත්ති කියන චරිතෙ කරේ මම. ළමයි කවුරුත් ඒක දන්නෙත් නෑ. ටීචර් නාට්ය බලන්න ආවා කියලා මං දැනගෙන හිටියෙත් නෑ. මට දැන් ටීචර්ට කියාගන්නත් ඕනෙ "ටීචර් ඒ මම" කියලා 😊
ඕක වුනේ මෙහෙමයි
ඉස්කෝලෙ උත්සවයකට පෙන්නන්න කියලා අපේ වික්රම සෙනෙවිරත්න සර් (හත්පන-කිරිහාමි) Wickrama Seneviratne නාට්යයක් හැදුවා. සර් ඒකට තෝරගත්තෙ හොස්ටල් එකේ ළමයි ටික. මටත් පොඩි කෑල්ලක් දුන්නා රඟපාන්න
බෙරයක් කරේ එල්ලගෙන, අර ප්රවෘත්ති වලට කලින් යන පප්පා පප්පා පපර පපර...ගාන සද්දෙ කටින් දාලා ප්රවෘත්තියක් කියන්න තමයි තිබුනෙ මට
සර් අපිට කිව්වෙ මේක මේ පොඩි නාට්යයක් පුතා ඉක්මනින් පුරුදු වෙලා අපි කරමුකො කියලා 😊
බලද්දි මේක කරන්න තිබුනෙ මලලසේකර හෝල් එකේ. Stage එකට ගියාම Houseful Audience එක දැක්කම චූ යන්න වගේ ආවා අද වගේ මතකයි
අම්මෝ ආයෙ නම් රඟපාන්නෙ නෑ...
එදා ඔහොම හිතපු මට, පහුවෙනිදා ගනේගම ටීචර් පන්තිය ඉස්සරහ මෙහෙම කියද්දි අවා පොඩි කික් එකක්. එතනින් පස්සෙ මට ඔය සභාවක් ඉස්සරහට යන එක එච්චර ලොකු දෙයක් වුනේ නෑ
ඊටපස්සෙ අවුරුද්දෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ මට "Best Actor" සම්මානයක් හම්බුනා. ඒකෙ මං රඟපෑවෙ සුප්පයියා සතාසිවම් කියලා ද්රවිඩ දේශපාලකයෙක්ගෙ චරිතය. මගේ ප්රතිවාදියා Milan Madushanka Rodrigo රඟපෑවා කරුප්පයියා සීනිවාසගම් කියන චරිතය 😊
ගනේගම ටීචර්ට අවුරුදු 20කට පස්සෙ මං මේ සිද්ධිය මතක් කරා. ටීචර්ට මතක නෑ
හැබැයි එදා පන්තිය ඉස්සරහ අර කතාව කියද්දි, ඒ නාට්යයේ රඟපෑවෙ මම කියලත් ඒ වෙලාවෙ පන්තිය මැද්දෙ පුංචි පුටුවක මං වාඩිවෙලා ඉන්නවා කියලත් ගනේගම ටීචර් දැනගෙන හිටියා ❤️
Thank you Teacher 🙏









Friday, 17 December 2021

මගේ පළමු විවාහය

මගේ පළමු විවාහය - Mage Palamu Wiwahaya

ඇත්තටම මං මේක පළවෙනි වතාවටයි ප්රසිද්ධ මාධ්යක කියන්නෙ 😊
මං කලින් වතාවක් කසාද බැඳපු කෙනෙක්
විස්තරේ මෙහෙමයි...
දවසක් කැළණිය විශ්ව විද්යාලයේ තෙල් බැම්මත් බණ්ඩෙත් අතර පාරෙන් මං ජිම් එක පැත්තට යමින් හිටියා
මල්ලි මෙහෙ වරෙන්... උඹ තමයි ඩෝ මෙහෙ වරෙන්
සීනියර් අයියා කෙනෙක් කතා කරා. මම ගියා. එතකොටත් ඒ අයියා ගාව මං වගේ ජූනියර් කොල්ලො කෙල්ලො කීපදෙනෙක් හිටියා
ඒහ්...නංගි මෙහෙ වරෙන්
අඩෝ...උඹලා දෙන්නා👉 මහෙ වරෙන්
ඒහ්...නිල් ශර්ට් එක👉 පොඩ්ඩක් වරෙන්
මේ විදියට සින්නා අයියා තව කීපදෙනෙක්ම අපේ ජුන්නොංගෙ Group එකට එකතු කරගත්තා
මල්ලි මෙහාට වරෙන්... ආපහු ඇඟිල්ල මගේ දිහාවට. මං ගියා ඉස්සරහට
නංගි උඹත් වරෙන්... දිග සායක් ඇඳපු සුදු කෙල්ලෙක් ඇවිත් මගෙ එහාපැත්තෙ හිටගත්තා
උඹ මේ පැත්තට වරෙන්. උඹ අර පැත්තට පලයං යනාදී වශයෙන් ඉතිරි පිරිස අපි දෙන්නගෙ දෙපැත්තට බෙදලා දැම්මා
දැන් උඹ තමයි මෙතන මනමාලයා...
අයියා මේ කාටද කියන්නෙ? මට
මේ තමයි උඹේ මනමාලි. මේ මනමාලිගෙ අම්මායි තාත්තයි. මේ නෑයො. එතකොට මේ උඹේ අම්මා. මේ තාත්තා. මේ තමයි නෑයො. මෙන්න මූ තමයි අශ්ඨක කියන්නෙ
අම්මටසිරි විනාඩි පහට ලෑස්ති කරා ආයිත් නෑ සුපිරිම වෙඩින් එකක්
කෝ අශ්ඨක කියන එකා මෙහෙ වරෙන්. මෙන්න මේකෙන් මුං දෙන්නගෙ ඇඟිලි බැඳපං. ඔන්න මගෙයි මනමාලිගෙයි ඇඟිලිත් බැන්දා
මනමාලි කෙලින්ම පොත් පාඩම් කරලම කැම්පස් ආපු සියුමැලි තරුණියක්
අනේ බෑ අයියෙ...
මාව අතාරින්න අයියෙ...
බස් එක පරක්කු වෙනවා අයියෙ...
බැරිම තැන
මට ගමේ කොල්ලෙක් ඉන්නවා අයියෙ...
කිය කිය මගේ මනමාලි අඬන්න පටන්ගත්තා. මේකිගෙ හිතේ මේ ඇත්තටම බඳිනවා කියලා. මං හිටියෙ ෆුල් ආතල් එකේ
අඩෝ උඹට පේන්නෙ නැද්ද උඹේ මනමාලි අඬනවා. මිනිහා වුනාම සනසගන්න තේරෙන්නෙ නැද්ද? මට අයියා බනිනවා දැන්..
කනට ලංවෙලා කියපං "අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ" කියලා
අනේ අයියේ!
කියපං කියපං
ඔන්න මං මනමාලිට කිව්වා අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ කියලා
ඒක කියපු ගමන්...
ඉහි ඉහි ඉහි වගේ සද්දෙකින් අඬ අඬ හිටපු මනමාලි බුවෑහ් ගාලා සද්දෙට අඬන්න ගත්තා
පලයං පලයං කියලා අයියා ඉක්මනින් අපි සේරම විසුරවා හැරියා
ඇය විශ්වවිද්යාලයේ කොහේ හෝ ඉන්න ඇති. හැබැයි මට ඇයව හමුවුන මුල් දවසත් අවසන් දවසත් එදාම තමයි
සුදු මැණිකෙ, ඔයා කොහෙද?
මට නම් දැන් බැඳලා දරු මල්ලොත් ඉන්නවා
නිමි.


Saturday, 11 December 2021

The born entertainer- Final Episode


The born entertainer- Final Episode

මොහොතකට කලින් The Voice Sri lanka කිරුළ පැළඳූ හරිත් විජේරත්න සොයුරාට හදවතින්ම සුභ පතනවා. හැබැයි මට මැවි මැවී පෙනුනෙ සමීර Grand Final Stage එක උඩ ඉන්නවා වගේ
මේක සමීර Sing කරපු පලවෙනි තරඟය නෙවෙයි. පහුගිය අවුරුදු 10කට වැඩි කාලය තුල සමීර Stage එකකට නැගපු හැම වෙලාවකම මං Audience එකේ ඉඳන් ඌට අත්පුඩි ගැහුවා. ඒක ඉස්සරහටත් වෙනස් වෙන්නෙ නෑ
වේදිකාව තුල සමීර කරපු දේවල් ගොඩක් මං මේ වෙද්දි කියල තියෙනවා. 'The born entertainer' series එකේදි මට කියන්න බැරිවුන මතකයක් තමයි Sirasa Superstar තරඟයේ සමීර Vs දසුන් මධුෂාන් Battle එක. මේ Battle එකේදි දෙන්නම හැම අතින්ම කරට කර ඉන්න නිසා එක්කෙනෙක්ව Select කරන්න කාසියක් උඩ දාන්න වුනා ඉදිරි වටයට යන්නෙ කවුද කියන එක තෝරන්න
අවසානෙදි සමීර එක්ක එක හා සමාන Talents තිබුන දසුන් මධුෂාන් Superstar කිරුළ අරගත්තා. ඒක තමයි ස්වභාවය. හැමදේටම වෙලාවක් එනවා. සමීර කියන්නෙ තමන්ගෙ හීන ළඟා කරගන්නකන් අත් නොහැර උත්සාහ කරන්නෙක්
මං මේක අවසාන කරන්න තෝරගන්නවා සමීර ඌගෙ උපන්දිනේ දවසක මට දීපු තෑග්ගක තිබුන සමීරම ලියපු කවි පන්තියක් 😊
"මතක් කරන්නම් මං එක කතාවක්
පිවිතුරු මිතුදමේ සොඳුරුම කතාවක්
ලෝකය මදෙස නොබලනවිට වතාවක්
උඹේ හයිය ලැබුනා සිය වතාවක්"
"සමීර නම් ඉගෙනගන්න බැරිම එකෙක්
කවදාවත් හරියන්නෙම නැතිම එකෙක්
බොහොදෙන කියද්දී මූ නම් අමුතු යකෙක්
උඹ මට කිව්වා වීයන් උඹ කැමති එකෙක්"
පහලින් තියෙනවා ඒ තෑග්ගෙ චායාරූපයක්. ඒ වගේම අර ඉගෙනගන්න බැරිම එකා උපාධි ලෝගුවකින් හැඩ වෙච්ච දවසෙ ඌට අත්පුඩි ගහන්න ගියපු මාත් එක්ක ගත්ත චායාරූපයකුත් තියෙනවා
උඹ කැමති එකෙක් වෙයං මචං
ජය වේවා!
නිමි!

Friday, 10 December 2021

දෙකේ කාසි

දෙකේ කාසි -
Deke Kasi

"කාසි සද්ද කරාට නෝට්ටු සද්ද නෑ මල්ලි" වගේ කියමන් අපි අහල තියෙනවා. ඒවයෙන් තේරෙනවනෙ කාසි වලට තියෙන තැන
ඒ කොහොම වුනත් ඔය මොන නෝට්ටුවටත් වැඩිය දෙකේ කාසිය වටින කාලයක් අපි පහුකරා. ඒ තමයි ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටපු කාලෙ
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්
හොස්ටල් එකට රැහැන් දුරකථනයක් තිබුනා. හැබැයි Outgoing නෑ. ළමයි 150කට විතර Calls එන්නෙ ඔය තනි Phone එකට. ඒ නිසා ඒක ඉතාම කාර්යබහුලයි
ඉතිං අපි ගෙවල්වලට Call කරන්න පාවිච්චි කරේ ඉස්කෝලෙ තැන තැන හයිකරලා තිබුන කාසි දාන දුරකථන. ඒවට දාන්න පුළුවන් දෙකේ කාසි විතරයි. පරණ රුපියලේ කාසිත් වැටෙනවා සමහර වෙලාවට
හොස්ටල් ජීවිතේ පොඩි කාලෙදි අපිට තියෙන එකම සන්තෝසෙ තමයි ගෙදරට කතාකරන එක. ඒ නිසා අපි ගෙදර ගිහින් එන වෙලාවට පුළුවන් තරම් දෙකේ කාසි ගේනවා. ඒත් මදි වෙනවා. එතකොට රුපියල් දහයෙ විස්සෙ කොල අරගෙන ගිහින් කැන්ටිමෙන් මාරු කරගන්න බලනවා
යාලුවන්ට කොල දීලා ඒවා කාසිවලට මාරු කරගන්නවා. සමහර වෙලාවට ඉස්කෝලෙට එන දෙමව්පියන්, Security අංකල්ලා, Ground staff, Cleaning staff වගේ ඕනෙම කෙනෙක්ගෙන් අපි දෙකේ කාසි ඉල්ලගන්න ලැජ්ජා වුනේ නෑ. මොකද දෙකේ කාසි අපිට ඒ තරමට වැදගත්
මේ කාසි දුරකථන නිතරම කැඩෙනවා. කාසි පිරෙන නිසා වෙන්න ඕනෙ. අපි මුලින්ම Call එකක් ගන්න Try කරන්නෙ Hostel එකේ හයිකරලා තියෙන Phone එකෙන්. ඒක වැඩ නැත්තං ප්රාථමික අංශයේ එකෙන්. ඒකත් කැඩිල නම් උසස්පෙළ පැත්තෙ එකෙන්. ඒකත් කැඩිල නම් තමයි ප්රභාත් කඩේ එහාපැත්තෙ තිබ්බ Communication එකට හොරෙන් පනින්නෙ. ඒකෙන් ගත්තම විනාඩියට Rs.15ක් විතර ගෙවන්න ඕනෙ 😊
රුපියල් දෙකේ කාසි 2ක් දැම්මම අපිට Call එක ගන්න පුළුවන්. එතන ඉඳන් කතා කරන කාලය වැඩි කරගන්න නම් Cut වෙන්න ළං වෙද්දි තව දෙකේ කාසිය බැගින් දාන්න ඕනෙ. තිබුන කාසි ගානෙන් Call එක ඉවර කරගන්න බැරිවුනාම අපි ඊළඟට Call එක ගන්න පෝලිමේ ඉන්න යාලුවගෙන් රුපියල් දෙකක් ඉල්ලගන්නවා
ඉල්ලගන්න කවුරුහරි නොහිටියොත්...
අම්මෙ ඔන්න දැන් Cut වෙන්න යන්නෙ. මං හෙට කතා කරන්නම්.
බුදුසරණයි !


Sunday, 28 November 2021

The born entertainer- Episode 7


The born entertainer- Episode 7

දේවි අක්කා...
ඔතනින් තමයි අපි කලින් Episode එක නතර කරේ. අද බලමු මොකද්ද මේ සමීරගෙයි දේවි අක්කගෙයි හුටපටේ කියලා
නෑ නෑ මචං මං ආයෙ සාස්තර අහන්නෙ නෑ. උඹ හරි. ඕවා බොරු වැඩ
ඔන්න ඔහොමයි එදා බෝඩිමට යනගමන් සමීර මට කිව්වෙ. ඒත් ඉතිං මං දන්නවනෙ ඌ ගැන. ඒ නිසා ටිකක් විතර නාඩියෙන් තමයි හිටියෙ මං
දවසක්...
මං බැහැරක් ගිහින් ආපහු බෝඩිමට පයින් යන ගමන් හිටියෙ. බෝඩිමට හැරෙන්න තියෙන්නෙ තුන්මං හන්දියකින්. ඔය තුන්මං හන්දියෙ ගුලි කරපු පත්තර කෑල්ලක් දිග ඇරෙමින් වගේ තිබුනා. මට පොඩ්ඩක් සැක හිතිලා ළඟට ගිහින් බලද්දි එතන තිබුනෙ පත්තරේක ඔතපු බිත්තරයක්
ආයෙ කතා දෙකක් නෑ ඕක අපේ එකාගෙම වැඩක් තමයි 😃. මං Shape එකේ බෝඩිමට ගිහින් ප්රශ්නයක් දෙකක් අහද්දි ඌ ඇත්ත කතාව කිව්වා. සමීරට හෙන පුදුමයි මං මේක දන්නෙ කොහොමද කියලා
කොහොමහරි සමීරයා මට හොරෙන් දේවි අක්කව හම්බෙන්න ගිහින් තියෙනවා. එතකොට තමයි ඔය බිත්තර සීන් එහෙම කරන්න කියල තියෙන්නෙ. සල්ලිත් පොඩි ගානක් දෙන්න ඇති. හොඳම වැඩේ ඒක නෙවෙයි
මූ දේවි අක්කට සාරියක් අරන් දෙනවා කියලා පොරොන්දු වෙලා 🤪
එතන ඉඳන් පන්සල් යන යන පාරට දේවි අක්කා පස්සෙන් එනවා සාරියක් ඉල්ල ඉල්ල. මොන මඟුලක්ද එයාට දෙන්න තියා අපි දෙන්නට අඳින්නත් ඇඳුම් නෑ. සල්ලිත් නෑ
ඌටයි මටයි හොඳ මට්ටමේ එක ඩෙනිමක් විතරයි තිබුනෙ. ඒක කාගෙද කියල මට මතක නෑ නමුත් බොහෝදුරට සමීරගේ වෙන්න ඕනෙ. ඌ උගේ කෙල්ල බලන්න ගියේ බ්රහස්පතින්දට. ගිහින් ඇවිත් ඩෙනිම හෝදනවා. පස්සෙ මං සෙනසුරාදට ඒක ඇඳගෙන මගේ කෙල්ල බලන්න යනවා. අපි දෙන්නම හැසිරුනේ ඩෙනිම තමන්ගෙ වගේ 🤪
එහෙව් හිඟන ජීවිතේක හිටපු අපි සාරි කොහෙන් හොයන්නද. අම්මගෙන් ඉල්ලන්නත් බෑනෙ
අපි දෙන්නා ප්ලෑන් එකක් ගැහුවා දේවි අක්කව මඟ අරින්න. මේකයි ප්ලෑන් එක
පිල්ලෑව පන්සල් පාර පටන්ගන්න තැනට අපි දෙන්නා යන්නෙ එකට. ඊටපස්සෙ මං පන්සලට යන්නෙ තනියම හොඳ විමසිල්ලෙන්. එතකන් සමීර ඉන්නෙ එලියෙ කිරිහල ගාව
මචං වරෙන් දේවි අක්කා නෑ...
කියලා මං Call එකක් දුන්නම තමයි සමීර පන්සලට එන්නෙ. බෝඩිමෙන් යනකල්ම ඉතිං අපිට ඔය Plan එකේ තමයි ඉන්න වුනේ
අද නම් සාරි සීයක් වුනත් අරන් දෙන්න පුළුවන්
ඒත් දේවි අක්කෙ, ඔයා අද එතන නෑනෙ
සමාවෙන්න!
Episode 8 ළඟදිම එනවා 🤫


Wednesday, 24 November 2021

The born entertainer- Episode 6


The born entertainer- Episode 6

සමීර 35,000කට අධික තරඟකරුවන් ගණනක් අතරින් අවසාන 16ට සහ කසුන් කල්හාර කණ්ඩායමේ අවසාන 4ට තේරිලා එතනින් Voice ගමන අවසාන කරා. මං මුලින්ම ඔහුට සුභපතන ගමන් ඔහුට උදව් උපකාර කරපු සියලුම දෙනාට ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා
තරඟයෙන් ඉවත් වුනා කියලා සමීර Music නතර කරන්නෙ නෑ. ඒ වගේම තමයි මං මේක ලියන එක නතර කරන්නෙත් නෑ 😊
අද මං කියන්නෙත් සමීරගෙ පන්සල් ජීවිතේ ගැනම තමයි. කලින් Episode එකේදි මං කිව්වනෙ අපි හැමදාම පන්සල් යන්න පුරුදු වෙලා හිටිය කියලා. ඉතිං ඒ නිසා පිල්ලෑව පන්සලට යන පාරෙ මල්, පහන්, හඳුන්කූරු, පළතුරු වට්ටි වගේම නොයෙක් විසිතුරු දේවල් විකුණන හැම කඩේම අපිව අඳුනනවා
අපි පන්සල් පාරෙ එනකොට,
ආහ් අද කලින්ම ඇවිත්
අද රෑ වුනා නේද
අද පන්ති ගියෙ නැද්ද
ඊයෙ දැක්කෙ නෑ
සෙරෙප්පු මෙහෙන් දාලා යන්න
වගේ වචනක් එයාලා කතා කරනවා අපි එක්ක. ඒ අතරිනුත් අපිට (අපිට කිව්වට සමීරට 😊) සුවිශේෂී හිතවත්කමක් තිබුන කෙනෙක් හිටියා
ඒ තමයි දේවි අක්කා
දේවි අක්කා තමයි පිල්ලෑව ඒරියල් එකේ සාස්තර කියන සෙට් එක Run කරේ. වයස 40ක පමණ අහිකුණ්ඨික තැනැත්තියක්
මං ඔය සාස්තර හදි හූනියම් වලට කොහොමත් විරුද්ධයි. ඒ නිසා කාලයක් යනකල්ම දේවි අක්කට අපිව අල්ලගන්න බැරිවුනා
දවසක් දේවි අක්කා කිව්වා සල්ලි එපා මල්ලි අත දික්කරන්නකො කියලා. මං යමං යමං කියද්දි මෙන්න සමීරයා මෙහෙක් කරලා අත දික් කරා
මොනාද මොනාද හැමෝටම පොදු දේවල් ටිකක් මුගෙ අත බලාගෙන කිව්වා. සමීරත් ඔව් කිව්වා. ඔලුව වැනුවා. දේවි අක්කා තේරුම්ගත්තා මූව අල්ලතහැකි කියලා
ඊටපස්සෙ ගත්තා පොඩි පුස්කොළ පොතක් වගේ එකක්. මල්ලි කුරුල්ලො දෙන්නෙක්ගෙ නම් හිතාගෙන මෙන්න මේ නූල පොත අස්සෙන් දාන්න කිව්වා. සමීරට තිබ්බෙ තත්පර දෙකයි. ඌ දැම්මා නූල පොත අස්සෙන්
දේවි අක්කා කිව්වා 'මල්ලි හිතුවෙ ගිරවයි මයිනයි නේද?' කියලා
සමීරගෙ ප්රතිචාරය බලන්න මං උගෙ මූණට එබුනා. ඇස් ලොකු කරගෙන ඌ 'අඩෝ හරියටම හරිනෙ බං' කිව්වා
එදා දේවි අක්කා සල්ලි ගත්තෙ නෑ. හැබැයි සමීරට කරන්න කියලා වැඩක් දීලා, ආපහු හම්බෙන තැනට වැඩේ සෙට් කරා
යනගමන් මං ඌට පැහැදිලි කරා මචං ඕනෙ එකෙක්ට තත්පර දෙකක් දීලා කුරුල්ලො දෙන්නෙක් හිතන්න කිව්වොත් කවුරුත් කියන්නෙ ගිරවයි මයිනයි කියල තමයි උඹ ඕකට එච්චර Surprise වෙන්න එපා කියලා
එහෙම වුනත් මිනිහගෙ හිතේ දේවි අක්කා ගැන විශ්වාසයක් ඇතිවෙලා කියලා මං දැනගත්තේ පස්සෙ සිද්ධ වෙච්ච දේවල් වලින්
ඒ මොනවද? ඒවා තියෙන්නෙ Episode 7 එකේ
එතකං දතකට මැදගෙන ඉන්ටකො එලිපත්ත ළඟට වෙලා. Voice වේදිකාවෙ සමීරගෙ අවසාන Performance එක තියෙනවා පහළින් ගිහින් බලන්න.
සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි...
ඔන්න මල්ලෙ අපි ගියා බායි බායි 🙏


Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...